ඩොයිලි නම් වූ උපායදූතයා
1815 උඩරට ගිවිසුම කෙටුම්පත් කරන ලද්දේ ජෝන් ඩොයිලි විසිනි. 1801 දී ලංකා සිවිල් සේවාවට ඇතුළු වූ ඔහුට 1802 දී කොළඹ ප්‍රාදේශික අධිකරණයේ සාමාජිකයෙකු ලෙස පත්වීම ලැබිණි. 1803 දී මාතර ප්‍රාදේශික අධිකරණයේ ප්‍රධානියා ලෙස ද 1804 දී මාතර ආදායම් හා වාණිජ පාලකවරයා ලෙස ද උසස් කරන ලදී.මේ කාලයේ දී කරතොට ධර්මාරාම නා හිමියන්ගෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය හැදෑරීමේ අවස්ථාව ඩොයිලිට ලැබිණි. මොරතොට ධම්මක්ඛන්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද සමඟ ශාස්ත්‍රීය කරුණු පිළිබඳ සාකච්ඡා පැවැත් වූ හෙතෙම මාතර යුගයේ ප්‍රබල කවීන් වූ ගජමන් නෝනා, ඇලපාත මුදලි වැනි ප්‍රභූන් සමඟ සම්බන්ධතා ඇති කර ගත්තේය.

ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ගේ ලිපියේ ඔහු පවසා ඇත්තේ ඩොයිලි සිංහල භාෂාව, උඩරට සිරිත් විරිත් හා දේශීය සමාජය පිළිබඳව මනා අවබෝධයක් ඇති අයෙකු වන බැවින්, උඩරට ප්‍රදේශවල රෙසිඩන්ට්වරයා ලෙස පත් කිරීම සඳහා සුදුසු ම තැනැත්තා ඔහු බවයි.උඩරට රජු සහ ප්‍රභූන් අතර අසමගිය වර්ධනය කිරීමේ රාජ්‍යෝපාය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට බ්‍රිතාන්‍යයන් විසින් යොදවන ලද ඔත්තුකරුවා වූයේ ඩොයිලිය. ඔහු සිය චරපුරුෂයන් මඟින් රදලවරුන් අතර රජකම පිළිබඳ බලාපොරොත්තු ඇති කරවමින් ඔවුනොවුන් අතර අසමඟිය ඇති කිරීමට ද එමඟින් රාජ්‍යයේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමට ද ක්‍රියා කළේය.ජාතික ලේඛනාගාරය, 21/25 වෙළුම 1. ආණ්ඩුකාර බ්‍රවුන්රිග් විසින් ජෝන් ඩොයිලි වෙත යවන ලද 1815 මාර්තු 2 දිනැති ලිපිය.

Department of National Archives Sri Lanka

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-05-29 09:58:09~ සේවාදායක වේලාව​: 2024-07-03 21:10:50