කම්කරු ව්‍යාපාරය
1891 පනවන ලද රු 2.00 ක් වූ වාර්ෂික ඇඟබද්ධ නොගෙවූ සියලු වැඩිහිටි පිරිමින්ට දවස් හයක් මාර්ගවල වැඩ කිරීම සිදුවීමට එරෙහිව තරුණ ලංකා සංගමය සටනක් ආරම්භ කළේය. එහි සාමාජිකයෙකු වූ ඒ.ඊ. ගුණසිංහ කොළඹ නගරයේ මහාමාර්ගවල වැඩ කිරීමට ඉදිරිපත් වූ කම්කරුවන්ගේ නායකත්වය ගත්තේය.අවුරුදු හතරක් පාරවල්වල වැඩ කළ කම්කරුවන්ගේ තත්ත්වය අවබෝධ කර ගත් මොහු ඒ වෙනුවෙන් යමක් කළ යුතු යැයි අදහසින් ලංකා කම්කරු සම්මේලනයට බැඳුනේය. එම සංවිධානය කම්කරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියා නොකළ බැවින් වික්ටර් කොරයාගේ සභාපතිත්වයෙන් 1922 දී සැප්තැම්බර් 10 දින ලංකා කම්කරු සංගමය පිහිටු වූ අතර එහි උප සභාපති වූයේ ගුණසිංහ මහතාය.1923 දී මහා වැඩ වර්ජනයට නායකත්වය දෙමින් නාගරික හා ග්‍රාමීය කම්කරුවන්ගේ ආර්ථික, දේශපාලනික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ දියුණු කිරීමට මහත් කැපවීමකින් කටයුතු කළ ලංකා කම්කරු සංගමය හා එහි නායකයා වූ ඒ.ඊ. ගුණසිංහ තම ජීවිතය පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් කැප කළ ප්‍රථම ලාංකිකයා ද විය.
එක් දහස් නවසිය විසිගණන් මුල් භාගයේ දී ගුණසිංහ කම්කරුවන් වෙනුවෙන් කළ සටන් නිසා බොහෝ දෙනා කම්කරු ව්‍යාපාරයට ඇදී ආහ. 1927 දී ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ගුණසිංහ කියා සිටියේ “ඡන්ද බලය සඳහා වන සුදුසුකම් සකස් කොට ඇත්තේ මේ දිවයිනේ කම්කරු පංතියට එය අහිමි වන පරිද්දෙනි.... කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා මන්ත්‍රණ සභාව විසින් වැඩ දායක කිසිවක් නොකර තිබීම පුදුමයක් නොවෙයි. ලිංගය, ජාතිය, ආගම හෝ කුලය පිළිබඳ කිසිම වෙනස්කමක් නැතුව සර්වජන වැඩිහිටි ඡන්ද බලය දිය යුතු යයි ලංකා කම්කරු සංගමය තරයේ කියා සිටියි.”ජාතික ලේඛනාගාරය, කම්කරු හඬ, 1928, ඒ.ඊ. ගුණසිංහ සහ සේවක විරෝධතා