ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සහ මාලදිවයින් ජාතික ලේඛනාගාරය අතර අධිලේඛනකරණ සහයෝගීතාව සඳහා අන්නෝන්‍ය අවබෝධතා ගිවිසුමක් (MoU) 2026.05.04 වන දින ශ්‍රී ලංකාව වෙනුවෙන් ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මාලදිවයින වෙනුවෙන් එරට ගරු විදේශ කටයුතු අමාත්‍ය ඉරුතිෂාම් ආදම් (Iruthisham Adam) විසින් අත්සන් කරන ලදී.

රටවල් දෙක අතර මිත්‍රශීලී ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය සඳහා අධිලේඛන සහ ලේඛන කළමනාකරණය මෙන්ම අධිලේඛන සංරක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීමටත්, අධිලේඛන විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමටත්, දෙරට අතර තිරසාර අධිලේඛන පරිචයන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙම අවබෝධතා ගිවිසුම මඟින් අපේක්ෂා කෙරේ.

දෙරට සහ ඒ ඒ ජාතික අධිලේඛනාගාර මඟින් අධිලේඛන සහ ලේඛන කළමනාකරණය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම මෙන්ම, දෙරටේම සංවිධානය කරනු ලබන මෙම ක්ෂේත්‍රයට අදාළ ජාත්‍යන්තර වැඩසටහන් ප්‍රවර්ධනය කරනු ඇත. සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා එම වැඩසටහන්වලට සහභාගී වීමට නියෝජිතයන්ව දිරිමත් කරනු ලැබේ.

විවිධ සහයෝගීතාවයන් පහසු කිරීම සඳහා විශේෂඥයන් හුවමාරු කර ගැනීම සහ අධිලේඛන පිටපත් සහ පාරදත්ත (metadata) හුවමාරු කර ගැනීම මෙයට ඇතුළත් වේ. තව ද, දෙරටේම ජාතික අධිලේඛනාගාර මඟින් මෙම ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශන හුවමාරු කර ගැනීමට ද සහාය වනු ඇත.

වැඩිදුර සහයෝගීතාව සඳහා පියවරක් වශයෙන්, හුවමාරු වැඩසටහන්, අධ්‍යයන චාරිකා, අධිලේඛන සහ ලේඛන කළමනාකරණ ක්ෂේත්‍රවල පුද්ගලයින් සඳහා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දී, තම මානව සම්පත් සංවර්ධනය කිරීමට දෙරටේම ජාතික අධිලේඛනාගාර කැපවනු ඇත.

මෙම සහයෝගීතාව නව තාක්ෂණයන් දක්වා ද විහිදෙන අතර, මතු පරම්පරා උදෙසා තම ජාතික අධිලේඛන සුරැකීමේ සහ සංරක්ෂණය කිරීමේ උතුම් ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට ප්‍රතිලාභ සැලසෙන පරිදි, නැගී එන තාක්ෂණයන් සහ සංකල්ප පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරයේ මාලදිවයිනට වැදගත් වන ලේඛන එකතූන් අතර, මාලදිවයින පිළිබඳ ඓතිහාසික තොරතුරු ඇතුළත් වන එච්.සී.පී. බෙල් (H. C. P Bell) මහතාගේ ලේඛන ද තැන්පත්ව ඇත.

මාලදිවයිනේ ගරු ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපති අනුර දිසානායක දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම නිරීක්ෂණය කරති. රූප මූලාශ්‍රය: ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකාව, ප්‍රවේශය 2026.05.04.

මුල් පිටුව

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2026-05-06 09:42:16 ~ සේවාදායක වේලාව​: 2026-05-17 03:54:14